Sri Lankan People
Home > News >

රකුන්සැරය ඇරැඹෙයි

නොනිමි යාත්‍රා, දිව්‍යා, රාත්‍රිය වී, සිහින වසන්තයක් වැනි ටෙලි සිතුවම් මෙන්ම සමාරා, රෝස කැලේ සිනමා සිතුවම්වල නිර්මාණකරු වූ සංජය නිර්මාල්ගේ නවතම නිර්මාණ කාර්යයයි රකුන්සැරය.

එහි මුහුරත් උළෙල පසුගිය දා පැවැත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි, ජපානයේ මහා සංඝ නායක බානගල උපතිස්ස හිමි සහ තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය ජීවන් කුමාරණතුංග ඇතුළු කලා ලොවේ සහෘදයන් රැසක් පිරිවරා කොළඹ ටාජ් සමුද්‍රා හොටෙල් පරිශ්‍ර‍්‍රයේදීය.

රකුන්සැරය අතීතයක් වර්තමානයත් මුසු කෙරෙන කතා පුවතකි. ‘රකුන්සැරය’ වූ කලී සාම්ප්‍රදායික දැනුම නිධන්ගත වූ පුස්තකයකි. ව්‍යවහාරික වර්ෂ 1815 දී මෙම පුස්තකය අස්ථානගත වෙයි. මෙය සොරා ගත් තැනැත්තා එය ලෝකයේ අයහපතට යොදවයි.

මේ අකටයුතුකම් නවත්වන්නට පෙරමුණ ගන්නේ මුණමුර නැමැති තවුසෙකි. මෙම තවුසාට රකුන්සැරය යළි ලබා ගැනීමට හැකි වේවිද?

රකුන්සරය දිග හැරෙනුයේ මේ සිදුවීම් මාලාවත් සමඟිනි. මේ අපූරු කතා වස්තුව සඳහා රංගනමය වගකීම ඉටු කරනුයේ අයිරාංගනී සේරසිංහ, අනූෂා දමයන්ති, නිහාල් ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත කොටුවැල්ල, රමණී සිරිවර්ධන, නිමන්ති පෝරගේ, ධනංජය සිරිවර්ධන, රන්දික විමලසූරිය, දෙව්නක පෝරගේ සමඟ උත්පලා මධුශානිය.

කැමරාව ප්‍රභාත් රෝෂණ සමඟ විශ්වජිත් කරුණාරත්නගෙනි. නයනා එස්. ගමගේ සහ ශර්මිලා මිල්රෝයි විධායක නිෂ්පාදකවරියන්ය.

ජේ. සුරනිමල අංග රචනා ශිල්පියාය.

මෙවන් හරවත් ටෙලි නිමැවුමේ සංකල්පය ආචාර්ය දමින්ද පෝරගේ විසිනි. එම සංකල්පය තිර රචනය රුවන් හරිෂ්චන්ද්‍ර ගෙනි. නිශාන්ත රණසිංහ සහය අධ්‍යක්ෂණයෙන් රකුන්සැරය හැඩ ගන්වති.

හැරල්ඩ් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරුය. අජන්ත පෙරේරාගේ සටන් අධ්‍යක්ෂණයෙන් රකුන්සැරය ඔපවත් වී තිබේ. ඇහැලියගොඩ සෝමතිලක කලා අධ්‍යක්ෂවරයාය. දිනේෂ් සුබසිංහ සංගීතමය ස්වර රටා මවති.

රකුන්සැරය සංජය නිර්මාල්ගේ අධ්‍යක්ෂණ කාර්යයක් වන අතර ද අයි ගෲප් ආයතනයේ සාඩම්බර නිෂ්පාදනයකි.