ස්තූතියි නැවත එන්න’අධ්‍යක්ෂ සුමිත් රෝහණ සමඟ කතාබහක්
ඔබේ අතින් මේ තිර රචනය ලියැවුණු පසුබිම ගැන කිව්වොත්?
දශක කිහිපයක් තිස්සේ අපේ රටේ පැවැතුණු යුද්ධයේ පෞද්ගලික අත්දැකීම් තමයි මේකට මුල් වෙන්නේ. අපේ පවුලත් ඒ අත්දැකීම්වලට මුහුණ දුන්නා. යුද්ධයේ ගැඹුර ජීවිතයෙන් අත් වින්ද කෙනෙක් හැටියටයි මගේ අතින් මේ තිර රචනය ලියැවුණේ.
යුද්ධයේ පෞද්ගලික අත්දැකීම් කිව්වෙ?
මගේ අක්කගෙ ස්වාමි පුරුෂයා නාවික හමුදාවේ හිටියේ. එයා නැති වෙන කොට අක්කගෙ දරුවා බොහොම පුංචි කෙනෙක්.
මේ සිද්ධියෙන් පස්සෙ අක්කා හා පවුලක් හැටියට අපි මුහුණ දුන් අත්දැකීම තමයි චිත්‍රපටයේ අවුරුදු නවයක දරුවගෙ පටන් හැත්තෑවක මහල්ලා දක්වා චරිත හතක් යොදාගෙන මේ යුද්ධය ඇසුරෙන් මුහුණ දුන් සංකීර්ණ කාරණා හැටියට මම සාකච්ඡා කරන්නේ.
ඔබේ සිනමා පටය දිග හැරෙන විදිහෙන් ඒ පසුපස හිතුවක්කාරයකු සිටින බව හැෙඟනවා?
ඇත්ත, මට ඕන වුණේ අලුත් දෙයක් කරන්න. ඒ නිසාම මම මේ නිර්මාණයේදී යොදා ගත්තු ක්‍රමවේදයන්ගේ හිතුවක්කාරී බවක් තිබුණා. බය වෙන්න ඕන කාරණා තිබුණත් ඒ ගැන මට දෙගිඩියාවක් ඇති වුණේ නෑ.
හේතුව මගේ නිෂ්පාදක මංගල මඩුගල්ල හැම වෙලාවෙම මා සමඟ හිඳිමින් ලාබ උපයන දෙයකට වඩා හොඳ දෙයක් කරන්න අවශ්‍ය ධෛර්ය හා ශක්තිය මට ලබා දුන්නා.
ඔබේ නිර්මාණය අති දුෂ්කර ගම කේන්ද්‍රීය එකක් වුණත් එහි දෙබස් සඳහා ඔබ තෝරා ගෙන තිබෙන්නේ කාව්‍යමය පැත්තට බර විදග්ධ බසක්?
මේ සඳහා මම යොදා ගත්තු බස් වහර මේ ගම් ප්‍රදේශවල මම අහපු දැකපු එකක්. මේ බස් වහර හිතා මතා නිර්මාණය කළ එකක් නෙවෙයි. රැඟුම් පාලක මණ්ඩලයෙන් පවා කිසිදු අවහිර කිරීමකින් තොරව, අසීමිත මහජන ප්‍රදර්ශනය සඳහා වන අවසරය මීට ලැබුණා.
මේ චිත්‍රපටයේ බස ගැන ඔය වගේ දෙයක් මට අහන්න ලැබුණෙත් පළවෙනි වතාවටයි. ඒ කොහොම වුණත් මට හිතුණු දැනුණු විදිහට මම මේක ලියාගෙන ගියා. නමුත් මේ හැම දෙයක් තුළම වෙනසක් කරන්න මට තිබුණු වුවමනාව නම් එළියට ආවා. නමුත් ඒ හැම දේකම තිබිය යුතු රසය තියෙනවය කියලයි මම විශ්වාස කරන්නේ.
ඔබ ටෙලි නාට්‍යකරුවෙකු හැටියට ඉඳලයි සිනමාවට ප්‍රවේශ වෙන්නේ. එහෙම වෙන්න විශේෂ හේතු තිබුණාද?
ඔව්. ටෙලි නාට්‍යකරුවෙක් හැටියට මට කියා ගන්න ඕන දේ කියා ගන්න බැරිව හිර වෙච්ච තැන් අනන්තයි, අප්‍රමාණයි. ඒ වගේ හිරවුණු තැන්වලින් මට අවශ්‍ය නිර්මාණාත්මක නිදහස හොයා ගන්නයි මම සිනමාව පැත්තට හැරුණේ.
එතෙන්දි මගේ අතින් ලියැවුණේ මට ලියන්න ඕන කරපු දේවල්. මේකේ න් හිත ඇතුළෙ හිරවෙලා තිබුණු දේවල් එළියට ඒමක් තමයි සිද්ධ වුණේ.
ඔබේ සිනමා කෘතිය සඳහා ශිල්පීන් තෝරා ගැනීම සිද්ධ වෙන්නේ මොන විදිහටද?
මේ චිත්‍රපටය ගැන හිතේ තිබුණු අදහස් වචනවලට හැරෙද්දීම මෙන්න මේ මේ චරිතවලට මේ මේ නළු නිළියන් ගන්නවය කියන අදහසක් මගේ හිතේ තිබ්බේ නැහැ.
සාමාන්‍යයෙන් දැන් ටෙලි නාට්‍ය ලියන අයගේ හැටියක් තමයි ‘ඔන්න අයියෙ ඔයාටත් කැරැක්ටරයක් තියෙනවා’ කියලා කියන එක.
මම එතන නෑ. මම මුලින්ම මේක ලියන වෙලාවේ හේමසිරි අයියා, දමිතා වගේ දක්ෂ නළු නිළියො ඒකට ගන්න වුවමනාව මට තිබ්බා. නමුත් මම එතනම හිරවෙලා හිටියෙ නෑ.
ඒ අයව ගන්න ලැබුණු නිසා අරගෙන කෙරුවා. මට හම්බ වෙන්නෙ ප්‍රවීණයෙක් ද, අලුත්ම කෙනෙක් ද කියන එක මම ගැටලුවක් කර ගත්තෙ නෑ. මට ලැබෙන ශිල්පියාගෙන් මට අවශ්‍ය චරිතය හසුරවා ගන්න මම ලැහැස්තියි.
ඔබ මේ චිත්‍රපටය නිර්මාණය කරද්දී ගුරු කොට ගත්තු රීතිය, පෙර සිනමාකරුවන්ගේ ආභාසය වගේ් දේවල්වලට මොන වගේ තැනක් ද තිබුණේ?
මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මම අනුගමනය කළේ මේකටම ආවේනික වෙච්ච ක්‍රියා කලාපයක්. මම මගේ් ලොකේෂන් එකට යනකම් දන්නේ නෑ මොකද්ද ඊළඟට වෙන්නේ් කියලා. පෙළක් වෙලාවට මම ගේන්න කියපු නළු නිළියො වෙනුවට වෙනත් අය ලැබුණු අවස්ථා පවා තිබුණා.
නමුත් මම මේ චිත්‍රපටය දවස් 17 කින් සම්පූර්ණයෙන්ම රූගත කරලා ඉවර කරන්නෙ මට තියෙන අත්දැකීම් සම්භාරය නිසයි.
තාක්ෂණික පැත්තෙන් මට තියෙන අත්දැකීම සුවිශාලයි. නමුත් මේ චිත්‍රපටය කරන්න මම තෝරාගෙන හිටපු සමහරක් දේවල් අනුරාධපුරයේ ලොකේෂන් එකට ගියහම හම්බ වුණේ නෑ.
එතනදි හම්බ වුණේ හිතේ තිබුණට වඩා හාත්පසින්ම වෙනස් දේවල්. සමහරක් වෙලාවටට ස්ක්‍රිප්ට් එක පවා දර්ශන තලයේදී නැවත ලියපු අවස්ථා තිබුණා.
කොටින්ම මේක මෙන්න මේ විදිහටයි කරලා ඉවර කරන්නෙ කියන ප්ලෑන් එකක් තිබෙ නෑ. ඒ වගේම වෙනත් අයගේ ආභාෂයක් ගත්තෙත් නෑ. මට හිතුන විදිහට මම කළා.
ශිල්පීන්ගෙන් ලැබුණු දායකත්වය ගැන කතා කළොත්?
විශේෂයෙන් හේමසිරි ලියනගේ මේ තිර නාටකයට බෙහෙවින් ඇලුම් කළා. ඒ නිසා ඔහු අසීමිත කැපවීමක් කළා. ඔහුගෙන් ලැබුණු සුවිශේෂී දායකත්වයට නම් මම ණය ගැති වෙන්නම ඕන.
ඒ වගේම දමිතගෙ රංගන දායකත්වය ඉතා විශාලයි. ජයනි මේ රඟපෑම වෙනුවෙන් ලබා ගත්තේ ඉතාම අඩු මුදලක්.
ඒකාංගික ටෙලි නාට්‍යකටවත් අය කරන්නේ නැති තරමේ අඩු මුදලක් ඇය ගත්තේ. නමුත් ඇගෙන් කේන්ද්‍රීය දායකත්වයක් මේ චිත්‍රපටයට ලැබුණු වග කියන්නම ඕන. ඔය විදිහට සංස්කරණ ශිල්පියා, කැමරා ශිල්පි රාජගුරු, සංගීත අධ්‍යක්ෂ ඇතුළු සෑම කෙනෙකුගේම ඉතා හොඳ සහයක් ලබා දුන්නා.
ලැබෙන ප්‍රතිචාර ගැන?
මගේ පළමුවෙනි චිත්‍රපටය, ඒ නිසාම ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න සූදානම්. නමුත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම රට වටා සිනමා ශාලා රැසක සාර්ථකව තිරගත වෙමින් තියෙනවා.
පළමු සිනමා නිර්මාණය එළි දක්වන ගමනෙදි මොන වගේ බාධකවලට ද මුහුණ පාන්න වුණේ?
පෞද්ගලික මට්ටමෙන් මතු වුණු බාධක ජය ගන්න මටත් මගේ නිෂ්පාදකවරයාටත් ධෛර්ය ශක්තිය තිබ්බා.
නමුත් මේ රටේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන්ම පිහිටුවා තිබෙන ජාතික චිත්‍රපට සංස්ථාවෙන් නම් කුලුඳුල් සිනමා කරුවෙකුට ලැබෙන්න ඕන අවම සහයෝගයවත් ලැබුණෙ නැති විත්තිය කනගාටුවෙන් වුණත් කියන්න ඕන.

