Sri Lankan People

ඉදිරියේදී මමත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට එනවා

නිල් නෙතු ඔස්සේ ඔබ හමුවට එන පුංචි තිරයේ චරිතාංග නිළි දුලීකා මාරපන

 

මේ දවස්වල නැවතත් ඔබ ටෙලි නාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක හමුවට එනවා. ටෙලි නාට්‍ය ගැන ඔබට තියෙන්නේ මොන වගේ් අදහසක්ද?

අපේ රටේ නිර්මාණකරණයේදී ප්‍රබල ලෙස ප්‍රේක්ෂකයන් අතරට යන ඉතා හොඳ මාධ්‍යයක් තමයි ටෙලි නාට්‍ය. මේක නිර්මාණකරුවන්ට වැඩි වැඩියෙන් ජනතාව අතරට යන්න, ජනතා ප්‍රතිචාරය ලබන්න, ඒ අයගේ සම්භාවනාවට පාත්‍ර වෙන්න පුළුවන් ඉතා පහසුම මාධ්‍යයක්.

නමුත් මේ දේ හරියට වෙනවාද කියන ලොකු ගැටලුවකුත් අපට තියනවා. ඒ ගැටලුව තමයි තාම අපේ නිර්මාණකරුවන් ‘ටෙලි’ කියන මාධ්‍යයෙන් සමාජයට, ජනතාවට, කලාවට කරන්න පුළුවන් සේවාව මොකද්ද කියලා හරියට හඳුනාගෙන තියෙනවාද කියන එක.

රංගන ශිල්පිණියක හැටියට මෙන්න මේ කිව්ව ගැටලුව ඔබට දැනෙන්නේ කොහොමද?

මට ඒක තදින් දැනෙනවා. හේතුව අතීතයේ අපි ඉතාම හොඳ ටෙලි නිර්මාණ දැක්කා වගේම ඒවට දායකත් වුණා. ඒ වගේම දුන්හිඳ අද්දර, වෙද හාමිනේ, සඳ අමාවකයි, යශෝරාවය ඇතුළු දීර්ඝ ටෙලි නාට්‍ය වගේම කෙටි ටෙලි නාට්‍යත් රස විඳින්න පුළුවන් තත්ත්වයක් එදා අපට තිබුණා.

මේ හැම නාට්‍යයකම නිර්මාණාත්මක රසයත් එක්ක රසිකයාට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් වුණා. ඒ තුළ රංගන ශිල්පීන්ට වගේම නිර්මාණ කරුවන්ටත් තමන්ගේ් හැකියාවන් උපරිමයෙන් එළි දක්වන්න හොඳ අවස්ථාවක් උදා වුණා.

නමුත් අද වෙන කොට ටෙලි කියන මාධ්‍ය ප්‍රමාණය ඉක්මවා මිනිස්සු අතරට ගිහිල්ලා තිබුණත් හොඳ නිර්මාණ වටිනාකමකින් යුක්ත නිර්මාණ, අපූර්ව කතා පුවත් රැගත් නිර්මාණ රසිකයන් අතරට ගෙනි යන්න මහන්සි නොගන්නා තත්ත්වයක් පේන්න තියෙනවා.

මේ දුර්වලතාවය තියෙන බව හැමෝටම හොඳින් දැනෙනනවා. නමුත් ඒ දුර්වලතාවය තියෙන්නේ පිටපතේ ද, නිර්මාණවල ද, ශිල්පීන්ගේ ද කියන එක තවමත් කවුරුවත් වටහගෙන නෑ. ඒත් මට පේන විදිහට නම් මේ සමස්තයම දුර්වලයි.

මේක මෙහෙම වුණේ ‘මෙගා’ නිසාද?

මේ වගේ් තත්ත්වයක් උදා වුණේ මෙගා රැල්ලත් එක්කය කියන අදහසකුත් තියෙනවා. නමුත් ඉසුරු බවන, ඉසුරු යෝගය වගේම ඊට පෙරත් ඉතා දීර්ඝ නාට්‍ය අපේ රටේ අතිශය සාර්ථක වුණා. ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාරත්, සම්මානත් දිනා ගන්න ඒ නිර්මාණවලට හැකි වුණා.

නමුත් දැන් දැන් මෙගා කියන නමින් ඔහේ මොන මොනවා හෝ ඉදිරිපත් කරන එකයි තියෙන ප්‍රශ්නෙ. මේ අර්බුදය තියෙන්නේ ‘මෙගා’ කියන නමේ නෙමෙයි. ඒක යොදා ගන්න විදිහෙ කියලයි මට නම් හිතෙන්නේ. පිටපත රචනා කිරිම, අධ්‍යක්ෂණය, රංගනය කියන අංශ තුනේම තියෙන අඩුපාඩු නිසා මෙහෙම වෙනවය කියලයි මට නම් දැනෙන්නේ.

ටෙලි නිර්මාණයක් තුළ ඔබට හිමි කාර්යය ඔබ තේරුම් ගන්නෙ මොන විදිහටද?

මම සම්බන්ධ වෙන නාට්‍යකදී මම උත්සාහ කරන්නේ නාට්‍යයේ පටන් ගැන්මේ ඉඳලා අවසානය දක්වා මට ලබා දෙන චරිතයට ආවේනික ලක්ෂණත් එක්ක ඒ චරිතය රිද්මයානුකුලව ගලාගෙන යාමට සැලැස්වීමයි. නමුත් අපට ඒකත් කර ගන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. හේතුව අතරමගදී හිටි හැටියේ සම්පූර්ණ කතාවම වෙනස් කරන නිසා.

අපි කලින් කතා කළ සීමාසහිතකම් තිබියදීත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබ ඔබටම කියා අන්‍යතාවයක් ගොඩ නගා ගත් චරිතාංග නිළියක බවට පත් වෙනවා. මේක වෙන්නේ කොහොමද?

මම හැම වෙලාවෙම මට ලැබෙන චරිතය තුළ රැඳෙන්න උත්සාහ කරනවා. චරිත නිරූපණයේදී මගේ යම් සාර්ථකත්වයක් ප්‍රේක්ෂකයා දකිනවා නම් ඒකට ප්‍රධානම හේතුවත් ඒකයි. අපිත් එක්ක මේ සමාජයේ ජීවත්වෙන චර්තමනෙ අපි අතින් නැවත ප්‍රති නිර්මාණය වෙන්නේ.

වෙනත් තැනකින් ගේනව නෙවෙයිනේ. මේ නිසා මම මේ සමාජයේදී අහන දකින ග්‍රහණය කර ගන්න දේවල් හා මට අධ්‍යක්ෂවරයා දෙන උපදෙස් එක්කයි මම මේ දේ කරන්නේ. සංවාද, තර්ක විතර්ක අතරින් තමයි ඒ වගේ් ප්‍රේක්ෂකයාට මතක හිටින චරිතයක් ගොඩ නැගෙන්නේ.

ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳ ගන්නෙත් ඒ වගේ චරිත. ඒ චරිතය නොමරා ජීවත් කරවීම තමයි නළුවෙකුට හෝ නිළියකට තියෙන වගකීම වෙන්නේ.

රංගන ශිල්පිනියක් හැටියට ඔබ තෘප්තිමත් වෙන්නේ?

රංගන ශිල්පිනියක් හැටියට මම තෘප්තිමත් වෙන්නේ මට ලැබෙන චරිතයට සාධාරණය ඉෂ්ඨ කරන්න ලැබෙනවා නම් විතරයි. ඒ වගේම මගේ වෘත්තිය නිසි ලෙස පවත්වාගෙන යන්නත් අවස්ථාව ලැබෙන්න ඕන.

රංගන ශිල්පීන්ට වෘත්තීය තත්ත්වයක් නැති ප්‍රශ්නය ගැන ඔබ හිතන්නෙ කොහොමද?

මම වෘත්තිය රංගන ශිල්පිනියක් වෙන්න අකැමැති වෙන්න ප්‍රධානම හේතුවක් තමයි විශේෂයෙන් අපේ රටේ මේ කලාව තුළ තවමත් වෘත්තීය තත්ත්වයක් නැති වීම. ඒත් රංගන ශිල්පීන් වෘත්තීමය තත්ත්වය ළඟා කර ගත යුතුම වෙනවා.

එය පිටින් කාටවත් කරන්න පුළුවන්කමක් නෑ. එය අප විසින්ම ගොඩ නගා ගත යුත්තක්ය කියලයි මට හිතෙන්නේ. කලාවට විතරක් වෘත්තීය වටිනාකමක් නැත්තේ ඇයි කියලා නම් මට තේරෙන්නේ නෑ. ඒ සඳහා කලා ක්ෂේත්‍රයේ සියලුම දෙනා තම තමන්ගේ ක්ෂේත්‍රය හැකි පමණ හැදෑරිය යුතුයි.

ඔබ රඟපාන හැම ටෙලි නාට්‍යයකම ඔබේ චරිතය රසික මනසේ සුවිශේෂ චරිතයක් ලෙස රැ‍ෙඳනවා. ‘නිල් නෙතුවලත්’ එහෙමයි. මෙහෙම වෙන්නේ කොහොමද?

සීරියස් චරිත ද, හාස්‍ය චරිත ද කියලා හිතන්නේ නැතිව අපේ චරිතය අපි නිසි ලෙස ප්‍රති නිර්මාණය කිරීම තමයි මේකට හේතුව. ඒ ඒ චරිතයට ආවේනික රංගනය, කථා ශෛලිය, චරිතාංග එකතු කරගෙනයි මම මට ලැබෙන චරිතය නිරූපණය කරන්නේ්. ‘නිල් නෙතු’ එකේ රඟපෑමට ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. නමුත් මා තුළම මට ප්‍රශ්නයක් තියෙනවා මේකද අපේ රසිකත්වය කියලා.

මට දැනෙන විදිහට නම් සමාජයේ ගොඩක් ජනප්‍රිය වෙන්නේ අපි අපිවම හාස්‍යයට ලක් කරන චරිතයි. ඒක සමාජය හරියට විඳිනවා. නමුත් ඒක වෙන්නේ හරි අවබෝධයක් ඇතුව ද කියන ප්‍රශ්නයත් මට තියෙනවා.

නමුත් සමස්ථයක් හැටියට ගත්තාම අද දවසේ අපි දකින ටෙලි නාට්‍ය අතරේ ‘නිල් නෙතු’ කියන්නේ ඉහළම ජනප්‍රසාදයක් ලබන නාට්‍යයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන් මෙරායා සහ හැරිසන් කියන චරිත දෙක.

ඒකෙ ජනප්‍රියත්වයට ලොකු හේතුවක් වෙලා තියෙනවා. රංගන ශිල්පිනියක් හැටියට ඒ ගැන මට සතුටක් තියෙනවා. ප්‍රේක්ෂකයන් ඒ චරිත ග්‍රහණය කරගෙන තියෙන එක ගැන. නමුත් මගෙන් දැනට මේ ක්ෂේත්‍රයට ඉටු වෙන කාර්යභාරය හෝ මගෙන් ලබා ගන්න දායකත්වය ගැන නම් මම කිසිසේත් සෑහීමකට පත් වෙන්නේ නෑ. මීට එහා දෙයක් අපෙන් මේ ක්ෂේත්‍රයට ඉටු විය යුතුයි කියලයි මට හිතෙන්නේ.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ඔබ ඔය අත් විඳීනවාය කියන අඩුපාඩු, දුබලතා අකාමකා දාන්න ඔබේ සෘජු දායකත්වය දෙන්න ඕනය කියලා හිතෙන්නේ නැද්ද?

මම කරන දෙයක් සියයට සියයක් හරියට කරන්න ඕනය කියලා හිතන කෙනෙක්. රඟපෑමට වගේම අධ්‍යක්ෂණය කියන පැත්තත් මම ගොඩක් කැමැති පැත්තක්.

පෞද්ගලිකව මට අනුන්ගේ හැකියාවන් මතු කරලා ගන්න විශේෂ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම ප්‍රසන්න ජයකොඩි මහත්මයත් මේ මෑතක මට කිව්වා ‘නංගි මේ තමයි ඔයාගෙම නිර්මාණයක් කරන්න හොඳම වෙලාව’ කියලා. මටත් ලොකු වුවමනාවක්, දැඩි පිපාසයක් තියෙනවා නිර්මාණකරණයට එන්න. ඉදිරියේදී අනිවාර්යයෙන්ම පසුබිම සැකසුණු අවස්ථාවක ඒ පිළිබඳ හොඳ සූදානමකින් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට මම එනවා.

 

හමුව - රවී රත්නවේල්
ඡායාරූප - ටෙනිසන් එදිරිසිංහ