අපූරු මිනිසකුගේ "විකට් සාදයේ" අවසානය
වේලාව උදැසන 10 ත් 11 ත් අතර තරම් කාලයක විය. පාසලේ ක්‍රිකට් පුහුණුකරු පිටියට පිවිසියේ විවේක කාලයේදී ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ගසමින් සිටින කොලු ගැටයන්ගෙන් තම පාසලේ බාලක ක්‍රිකට් කණ්‌ඩායමට තෝරා ගැනීමට තරම් සුදුසු මට්‌ටමේ කොලුගැටයෙක් සොයා ගැනීමට හැකිවේදැයි යන කුකුස සිතේ දරාගෙනය. තොර තෝංචියක් නැතිව ක්‍රීඩාංගණයේ කෑ කෝ ගසමින් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටි කොලු ගැටවුන් අතරින් ඇවිද ගිය පුහුණුකරුගේ නෙත එක කොලු ගැටයකු වෙත එක එල්ලයේම ඇදී ගියේය.
සම වයසේ කොලු ගැටයන්ට වඩා කුඩා ශරීර කූඩුවකින් හෙබි මෙම කොලු ගැටයා පන්දු යවන්නාට රිසී සේ පිටිය පුරා පහරවල් එල්ල කරන අයුරු පුහුණුකරුට මවිතයෙන් මෙන් බලා සිටියේය.
මේ අපූරු කොලු ගැටයා පන්දුවට පහර දෙන විලාශය නැරඹීම සඳහා පුහුණුකරු කාලය මිඬංගු කළේය. ශරීරයෙන් කුඩා වුවද මෙම කොලු ගැටයා ඉතා වේගයෙන් පන්දු යෑවීමටද දක්‌වනු ලබන හැකියාව පිළිබඳ පුහුණුකරු වැඩිදුරටත් විමසිලිවන්ත විය.
"ඒ මොහු" යෑයි තීරණය වීමෙන් අනතුරුව මෙම කොලු ගැටයා තමා ළඟට ගෙන්වා ගත් පුහුණුකරුට "මොහු" "මුරලිදරන්" යෑයි දැන ගැනීමට හැකි විය. පාසලේ ක්‍රිකට් කණ්‌ඩායමට සෙල්ලම් කරන්නට කැමැත්තක් තිබේද යෑයි පුහුණුකරුගේ පළමු ප්‍රශ්නය විය. එල්ලයේම උත්තරයක් දීමට මැලි කමක් දැක්‌වූ මුරලිදරන් ඒ පිළිබඳව තම මවට දැන්විය යුතු බවත්, අනතුරුව පැනයට පිළිතුරක් ලබා දෙන්නේ යෑයි පොරොන්දු පිට පුහුණුකරුගෙන් සමුගත්තේය.
කටුගස්‌තොට ශාන්ත අන්තෝනි විදුහලේ ක්‍රිකට් පුහුණුකරු ලෙස එවකට කටයුතු කළ සුනිල් ප්‍රනාන්දු මහතා, එදා ඒ පිටියේ කොණට වී යහලුවන් සමගින් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි මේ අපූරු කොලු ගැටයා පසු කලෙක තම "සොයා ගැනීමට" මෙතරම් ගරු බුහුමන් ලබාදීමට හැකි අයෙකු වෙතැයි සිහිනෙන් හෝ නොසිතන්නට ඇත.
පිටියේ කොණක සෙල්ලමට පන්දු යෑවූ ඔහුගේ පන්දුවලට පසු කලෙක දැවී නොගිය ලොව නම් දැරූ එකම පිතිකරුවකුවත් නොමැති තරම්ය. "මුත්තයියා මුරලිදරන්" නම් මේ අපූරු පන්දු යවන්නා ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම පන්දු යවන්නකුට ළඟා විය නොහැකි වාර්තා ගොන්නක් තම නම ඉදිරියෙන් සටහන් කර ගනිමින් අද දින ගාල්ලේදී සිය වසර 18 ක ටෙස්‌ට් දිවියෙන් සමුගනු ඇත.
ලෝකයේ වැඩිම ටෙස්‌ට් මෙන්ම එක්‌දින කඩුලු ලාභියාගේ වාර්තාවලටද කිසිම පන්දු යවන්නකුට ළඟාවීමට ඉඩ නොදුන් මුරලිදරන්ගේ අදාළ දස්‌කම් මත ශ්‍රී ලංකාවට වැඩි ටෙස්‌ට් තරග ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් වැඩිම කාර්යය භාරයක් කළ කණ්‌ඩායම් දම්වැලේ ප්‍රධාන පුරුක විය. මුරලිගේ ආගමනයට පෙර ටෙස්‌ට් තරග ජයග්‍රහණය ප්‍රතිශතය සියයට 4 ක ආසන්න අගයක් වශයෙන් සටහන් වූ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ඔහුගේ ආගමනයට පසු එය සියයට 30 එහා අගයක් තරමට වර්ධන වීය.
සුනිල් ප්‍රනාන්දු මහතාගේ මහන්සිය මත ලක්‌මවට පහළ වූ අගනා මැණිකක් බඳු මුත්තයියා මුරලිදරන් පාසල් කාලයේ දක්‌වන ලද දස්‌කම් මත කොළඹ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය ඔස්‌සේ ශ්‍රී ලංකා වර්ණ ලැබීය.
1992 වසරේ අගෝස්‌තු 28 වැනිදා ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව කොළඹදී ටෙස්‌ට් වරම් දිනාගත් හෙතෙම එහිදී ලෝක වාර්තා ගමනෙහි පළමු කඩුල්ල වශයෙන් ඔස්‌ටේ්‍රලියානු පිතිකරු ක්‍රෙග් මැක්‌ඩමොට් දවාගත්තේය. එතැනින් ඇරඹි එම වාර්තා ගත ගමනේදී හෙවත් වසර 18 ක ටෙස්‌ට් දිවියෙහි ඔහුගේ පන්දු හමුවේ විශිෂ්ඨ යෑයි නම් දැරා සිටි සහ සිටින දැවී නොගිය පිතිකරුවකු නොමැත.
"මුරලිදරන්" යන නම ඇසූ සැනින් පිතිකරුවන් භීතියට පත් කිරීමට තරම් මුරලිගේ පිට දඟ පන්දුවේ දඟ කැවීම තියුණු විය. එම පන්දු ක්‍රමයෙන්ද ඔබ්බට ගිය මුරලි පසු ඔහු විසින්ම හඳුන්වා දෙන ලද "දුස්‌රා" පන්දුවද පිට දඟ පන්දුවට නොදෙවැනි විය. ශ්‍රී ලංකාවත් සමග තරග කිරීමට පැමිණෙන කණ්‌ඩායම්, ඒ සඳහා කරුණු කාරණා යෙදුණු දිනයේ පටන් මූලිකවම කරන ලද්දේ මුරලිදරන්ගේ පන්දුවලට මුහුණ දීම සඳහා පිඹුරුපත් සකස් කිරීමය. එහිදී මුරලිගේ පන්දු යෑවීමේ වීඩියෝ පට නැරඹීමකින් තොරව පැමිණි ලොව කිසිම පිතිකරුවකු නොමැත. කන්ද උඩරටට වී එදා යහලුවන් සමගින් සෙල්ලමට ක්‍රිකට් සෙල්ලම් කළ ඒ කොලු ගැටයා පසු කළෙක පෑ වික්‍රමයන් ඒ තරමටම විශාල විය.
මෙම වසර අගදී කොදෙව් කණ්‌ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්‌ට් තරගාවලියෙන් පසු විශ්‍රාම ගැනීමට මුරලි කළින් අදහස් කළේය. එහෙත් පසුව එම තීරණය හදිසියේම වෙනස් කිරීමට තීරණය කළේ පසුගියදාය.
මුරලි එම තීරණය ගනු ලැබුවේ වයසත් සමගින් ස්‌වභාවයෙන්ම ශරීරයේ ඇතිවන ආබාධයන්ට ගොදුරු වීමේ ඇති ප්‍රවණතාව සහ නවකයකුට කණ්‌ඩායමට පැමිණීම වැඩි අවස්‌ථාවක් දීම යන කරුණු සැලකිල්ලට ගනිමින්ය. ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්‌ට් තරගාවලියේ පළමු ටෙස්‌ට් තරගයට පෙර ටෙස්‌ට් කඩුලු 792 සීමාවේ සිටි මුරලි, සමුගැනීමේ තරගයේදී සිය කඩුලු 800 සීමාව පසු කිරීම අභියෝගය විය. එක් තරගයකදී කඩුලු 8 ක් දවා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවුණද එම අභියෝගය මුරලි නොබියව භාර ගත්තේය. ඔහුගේ දක්‍ෂතාව මත ගොඩනැගී තිබෙන විශ්වාසයට අනුව ඉන් වැඩි ප්‍රතිශතයක් ඊයේ දිනයේදී (ඉන්දියාවට එරෙහිව පළමු ඉනිමේදී කඩුලු 5 ක් දවා ගනිමින්) සපුරා ගත් මුරලි මේ වන විට දවා ගත් කඩුලු සංඛ්‍යාව කඩුලු 797 දක්‌වා රැගෙන ඒමට සමත්ව සිටියි. වාර්තාවක් වෙනුවෙන් දක්‍ෂතා නොතිබුණද ඒ පසුපස හඹා යන ලෝකයේ සෙසු ක්‍රීඩකයන්ට මුරලිගේ මෙම ක්‍රියාව මහත් ආදර්ශයක් වන්නේය. (මීට පෙර ඉන්දියාවේ කපිල් දෙව් රිචඩ් හැඩ්ලි තබා තිබූ කඩුලු 431 සීමාව පසු කිරීමට අවශ්‍ය කඩුලු 7 ලබා ගැනීම සඳහා තරග ගණනාවකදී යත්න දැරීය)
ටෙස්‌ට් කඩුලු 800 ක් ඉක්‌මවා ගිය ලොව පළමු පන්දු යවන්නා වීමට මුරලිට (මෙම ලිපිය ලියන විට) තවත් අවශ්‍යය වූයේ කඩුලු 3 ක් පමණි.
මුරලිගේ වාර්තාව පිරික්‌සීමේදී (ගාල්ලේදී පැවැත්වෙන තරගයේ පළමු ඉනිමේ දක්‍ෂතාද සමගින්) ඔහු මෙතෙක් දවාගෙන තිබෙන කඩුලු 797 න් වැඩි කඩුලු සංඛ්‍යාවක් උඩ පන්දු ලබාදීමෙන් දැවී ගිය කඩුලු වශයෙන් වාර්තා වේ. එහිදී 431 ක් වතාවක් උඩ පන්දු ලෙසද, පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම් 165 ලෙසද, කඩුල්ල මුවා කිරීමේදී දැවී යැම් 148 ලෙසද, සටම්ප් කිරීම් 47 ක් සහ පිත්ත කඩුල්ලේ වැදී දැවී යැම් එකක් ලෙසද වාර්තාවී තිබේ.
ශ්‍රී ලංකාව එංගලන්තයේ ලද මුල්ම ටෙස්‌ට් ජයග්‍රහණය වෙනුවෙන් දෙවැනි ඉනිමේදී වාර්තා කරන ලද ලකුණු 51 කට කඩුලු 9 මුරලිගේ හොඳම ඉනිමක පන්දු යෑවීම වශයෙන් වාර්තා වේ. එහිදී කඩුලු 5 ක් බැගින් දවා ගැනීම් 67 ක් සහ තරගයක කඩුලු 10 බැගින් දවා ගත් අවස්‌ථා 22 ක්‌ද වාර්තා කර ගැනීමට හෙතෙම සමත්වී සිටියි.
මුරලිගේ පන්දු හමුවේ වැඩියෙන්ම දැවී ගොස් ඇත්තේ දකුණත් පිතිකරුවන් වන අතර එහිදී එසේ දැවී ගිය පිතිකරුවන් සංඛ්‍යාව 605 ක් ලෙස සටහන් වේ. වමත් පිතිකරුවන් දැවී ගොස් ඇත්තේ 187 වතාවක් පමණි.
මුරලිගේ ටෙස්‌ට් ක්‍රිකට් ගමන් මග මතුපිටින් මල් යහනාවක් සේ දිස් වුවද විඳින්නට වූ කරදර සහ දුක් ගැහැට අපමණ විය. එහිදී ඔස්‌ටේ්‍රලියානුවන් මුරලිගේ ගමන් මග නවතාලීමට නොගත් උත්සාහයක් නොමැත. මුරලිගේ මේ ගමන් මග පළමුවෙන්ම වටහා ගත් ඔස්‌ටේ්‍රලියානුවන් එහිදී මුරලි පන්දුව දමා ගසන්නකු යෑයි චෝදනා කළේය. එහෙත් ඒ කිසිවකුටවත් මුරලිගේ ආත්ම ශක්‌තියට බලපෑමක් එල්ල කරවීමට නොහැකි විය. ඔහු ඒ සෑම දෙයක්‌ම අභියෝග ලෙස භාරගනිමින් ඒවා ජය ගත්තේය.
සියලු අභියෝග ජය ගනිමින් ටෙස්‌ට් ක්‍රිකට් පිටියේ පෑ සියලුම හරඹ අවසානයට දැන් මුරලි පැමිණ සිටියි. අද සිට මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කථාවේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇත. මුරලිට කැපකරන මෙම ලිපියෙහි සඳහන් කළ යුතුම එක කරුණක් ඇත.
ඒ මුරලි අද ගාල්ලේ සමුගන්නවා වෙනුවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ වැඩි උරුමයක් තිබෙන සහ මුරලිගේ මව් ක්‍රීඩාංගණය වන සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී(පී. සරා) ඔබගේ සමුගැනීම සිදුවූයේ නම් එයද ඔබගේ ක්‍රීඩා සමාජය වෙනුවෙන් කරන ලද කළ ගුණයක් වන බවද අප මතක් කර සිටින්නෙමු.
චමිල කරවිට

