Sri Lankan People
Home > News >

ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය තේරීම අගෝස්‌තුවේ දී

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‌ඩායම සහභාගිවීමට නියමිත ජාත්‍යන්තර පාපන්දු ශූරතා තරගාවලි තුනක්‌ සඳහා කණ්‌ඩායම සැකසීමේ නව ව්‍යාපෘතියක්‌ අගෝස්‌තු මස ආරම්භයේදී දියත් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය දැන් කටයුතු යොදා ඇත.

ලබන දෙසැම්බර් මස කොළඹදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්‌තාන - නේපාල සහ බංග්ලාදේශ සිව්කොන් තරගාවලිය, ලබන අප්‍රේල් මසදී ආරම්භ වන ආසියානු පාපන්දු සම්මේලන අභියෝග කුසලාන සහ දොළොස්‌වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (ඉන්දියාව - 2012) ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්‌ඩායමේ ඉලක්‌කය වන අතර, කණ්‌ඩායම සැකසීමේ මූලික පියවර වශයෙන් ක්‍රීඩකයන් සංචිතගත කිරීම අගෝස්‌තු මසදී ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන ප්‍රධාන විධායක ක්‍රිෂාන්ත පෙරේරා මහතා ඊයේ පැවැසීය.

යෝජිත සංචිතය තේරීම සඳහා, සියලුම ලීග සිය දක්‍ෂ සහ යොවුන් ක්‍රීඩකයන් පස්‌ දෙනා බැගින් නම් කරන ලෙස සම්මේලනය විසින් අදාළ ලීගවලට දන්වා යවා ඇති අතර, දැන් ක්‍රියාත්මක ප්‍රිමියර් ලීග් තරගාවලිය ආශ්‍රයෙන්ද එවැනි ක්‍රීඩකයන් තෝරා ගැනීමට නියමිතය.

සංචිතයට තෝරා ගනු ලබන ක්‍රීඩක සංඛ්‍යාව 30 ක්‌ වේ. කොරියානු ජාතික ජං ජුංග් මහතා යටතේ තෝරා ගනු ලබන ක්‍රීඩකයෝ පුහුණුව ලැබීමට නියමිතය.

ඉකුත් සහ විසුරුවා හරින ලද ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ නඩත්තුව සඳහා සම්මේලනය විසින් රුපියල් ලක්‍ෂ 26 ක්‌ වැය කළද, කණ්‌ඩායම (23 න් පහළ කණ්‌ඩායමද ඇතුලුව) ප්‍රතිඵල ශූන්‍ය වූ සහ මුදලට තරග පාවා දෙන්නන්ගෙන් (ඇතැම්) සමන්විත විය.

(අසෝක)