දරුවන්ට ගොඩක් ආදරේ කරන තාත්තා කෙනෙක්
නිරතුරුවම සංවේදී සිදුවීම් අනුභූතින් බවට පත් කර ගනිමින් ගීත ලිවීම අජන්තාගේ ජීවිතයේ දින චර්යාවක් බවට පත්ව තිබුණේය. තමාගේ සිත තුළට දැනෙන හැඟුම්බර සිතිවිලි අහුරක් අකුරු බවට පත්කොට එය ගීතයක් කිරීමට අජන්තා නිරතුරුවම ප්‍රිය කළේය.
වරෙක නිදහසේ ලෝකයේ සිදුවීම් ගැන සිතමින් සිටි අජන්තාට දෛවෝපගතව පවුල් සංස්ථාවෙන් වෙන්ව ගිය පියකුගේ සිතැඟි පිළිබඳ ගීතයක් ලිවීමට අදහසක් පහළ වූයේ අහම්බෙනි. ඒ සිතිවිල්ල ඔස්සේ බොහෝ දුර ගිය අජන්තා තමාගේ දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගීවීමට නොහැකිව ලතවන පියකුගේ හදවතේ් හැඟුම්බර වේදනාත්මක දෝංකාරය වචන බවට පත් කළේ ඒ මොහොතකට මනසින් පිවිසෙමිනි.
දූ ඉඳීවි පෝරුවේ පියෙක් බලා ඉඳී
මට පියෙක් වෙලා උරුම නෑ ඒ උතුම් දිනේ මගේ දුවේ
දූ උපන්න දා නුඹේ අවාසනා පියා
අපි මෙසේ උනුන් වෙතැයි සිතුවෙ නෑ මගෙ දුවේ
ප්‍රේමවන්ත දියණියේ . . .
පෝරුවෙහි ඉන්න දා මගේ දූ
එය දකින්න මට වරම් ලැබේදෝ
පෙර පිනක් නැතත් පියෙක් දුවේ මා
ජීවිතේම වේදනා දරාලූ . . .
මෑණියන්ට වඳින රෑ වෙලාවේ
තාත්තා ද දූට සිහි වුණාවේ
මට කියන්න මඟදි මුණ ගැසීලා
මං තාත්තෙ තරහ නෑ කියාලා . . .
මොහොතින් මොහොත සංශෝධනය වෙමින් හැඟුම්බර පද වැලක් අජන්තාගේ පන්හිඳෙන් ගලා හැලුණි. හින්දි තනුවක් සිත තුළ දරා ගනිමින් අජන්තා ලියූ ගීතය කලක් තිස්සේම සුරක්ෂිතව තබා ගත් අජන්තා වරෙක ජෝතිපාලයන්ගේ අලුත්ම ගීත කැසට් පටයක් සඳහා මේ ගීතය ලබා දුන්නේ ඉතා සතුටිනි.
තමාගේ සමීපතම මිතුරකු වන ජෝති මේ ගීතය ගැයීම අජන්තාගේ හිතට ගෙන දුන්නේ නිහතමානී සතුටකි. සංගීතවේදී ස්ටැන්ලි පීරිස්ගේ සංගීතයෙන් ප්‍රතිනිර්මාණය වූ මේ අපූරු පදවැල ගීතයක් බවට පත්වන්නට අවැසි වූයේ ජෝතිමත් හඬ පමණි.
එදවස කිංසි පාරේ ජොනෙත් ස්ටුඩියෝ වෙත ජෝතිපාලයන් පැමිණියේ තමාගේ ගී පටයේ අලුත්ම ගීතය පටිගත කිරීමේ අරමුනිණි. අජන්තා ද උදෑසනම ශබ්දාගාරය වෙතට පැමිණියේ තමා ඉතාමත් ආදරයෙන් ලියූ මේ වෙනස්ම වස්තු බීජයත් රැගත් ගීතය ජෝති හඬින් ආලෝක කරනු දැකීමේ රිසියෙනි.
සුපුරුදු පරිදි ජෝති ශබ්දාගාරයට පැමිණියේ නිදහසේ නිලඹරේ සැරිසරන වැහි ළිහිණියකු මෙනි. ජොනෙත් ශබ්දාගාරයේ නාද ශික්ෂණය කළ ඩොනල්ඩ් අයිවන් සියල්ල සූදානම් කරමින් හිඳි මොහොතේ අජන්තා ජෝති සමඟ ආ ගිය තොරතුරු පිළිබඳ කෙටි පිළිසඳරක යෙදෙමින් සිටියේය.
කාලය නික්ම ගොස් පටිගත කරන ලද සංගීතයට අනුව ගීතය ගැයීම ඇරැඹිණි. ඉතාමත් නිදහසේ මයික්‍රෆෝනය ඉදිරියට ගිය ජෝති ගීතය ගැයීම ඇරැඹුවේ සතුටු සිතිනි.
ගීතයේ අන්තරා කොටසක් ගයනවාත් සමඟම ජෝතිගේ හඬ ක්‍රමයෙන් වෙනස් වනු අජන්තා බලා උන්නේ විමතියෙනි. ගීතය ගයා අවසන ජෝති ඉකිලන හඬක් අජන්තාට ඇසුණද, ඔහුගේ දෙනෙතෙහි කඳුළු තිබුණේ ද නැත.
ගීතයේ අවසන නැවත ගීතය පටිගත කිරිමේ වාරය ඇරැඹිණි. ඉන් පෙර ජෝති සමඟ මඳක් කතා කළ යුතු යයි අජන්තාට සිතුණේ ජෝතිගේ හඬෙහි වූ ක්ෂණික වෙනස්වීම හේතුවෙනි.
ශබ්දාගාරයේ පටිගත කිරීමේ මයික්‍රෆෝනයට වෙන් වූ මැදිරියට ගිය අජන්තා ජෝති ඇමතුවේ සෙනෙහෙබර හඬිනි.
‘මහත්මයා මොකද?’
’අජන්තා මේ සින්දුව ලියුවේ මටම නේද මචං’
‘නෑ නෑ මහත්මයා මේක පරිකල්පනයක්. මගේ් හිතට ආපු දෙයක් තමයි මේ ලියුවේ’
‘ඇත්තද, මේක මටම ලියපු සින්දුවක් වගෙයි මචං. මමත් තාත්ත කෙනෙක්. දරුවන්ට ගොඩක් ආදරේ කරන තාත්තා කෙනෙක්. මගේ දුවලගෙ මඟුල් එකක්වත් මට හරියට ගන්න බැරි වුණා. දුවල දෙන්නෙක් බැන්ඳා. මට ඒ යුතුකම ඉටු කරන්න බැරි වුණා. මට ඒක දුකක්. මේ සිංදුව මට ඒ දුක ඇති කළා’.
ජෝති හැඟුම්බරව අජන්තාට කීවේය. ජෝති සෙනෙහෙබර පියකුª මෙන්ම ආදරබර සැමියකු බව අජන්තා දැන උන්නේය. දෛවයේ සරදමෙන් ජෝති නිවෙසින් වෙන්ව ජීවත් වුවද කිසිදා දික්කසාද වී බැඳීම්වලින් ඉවත්වීමට ඔහුට උවමනාවක් නොවූ බව ද අජන්තා හොඳ හැටි දනී. දරුවන්ගේ ඉදිරිය ගැන හිතූ® ජෝති පාගොඩ පාරේ නිවෙසක පදිංචි වී කල් ගෙවූ දරුවන්ට තමා අතෙහි වරින්වර මුදල් යැවූ හැටි අජන්තාට සිහියට ආවේ සංවේගයක්ද උපදවමිනි. දරුවන්ට මෙන්ම බිරියට ද ආදරය කළ මේ සංවේදී මිනිසා ඔවුන්ගෙන් ඉවත්වීම දෛවයේ සරදමකැයි අජන්තාට සිතුණි. මේ සිතිවිලි දැහැන බිඳලමින් එකවරම ජෝති හිස ඔසවා අජන්තාට කතා කළේ හැඟුම්බර ස්වරයෙනි.
‘මහත්මයා අපි මේ ගීතය අන්තිමටම රෙකෝඩ් කරමු. අනෙක් ගීත දහතුන මුලින් කියලා ඉමු’.
මඳක් කල්පනා කරමින් උන් ජෝති අජන්තාට යෝජනා කළේය. ඉන් අනතුරුව අනෙකුත් ගීත සියල්ල ගයා අවසන ජෝති දූ ඉඳීවි ගීතය ගැයුවේ ඉකිලන ස්වරයෙනි. සංවේදී තාලයෙනි. ගීතය ගයා අවසන කිසිදාක නොහැඬූ මේ සෞන්දර්යාගේ දෙනෙත කඳුළින් තෙත්ව තිබෙනු අජන්තා දුටුවේය.
‘මහත්මයා මේක පරිකල්පනයක් නෙවෙයි මොන කල්පනයක් වුණත් මගේ පපුවට දැනුණා. මට මගේ දූල මතක් වුණා. යුතුකම් ඉටු කරන්න බැරි වුණ එක ගැන මගේ හිත වාව ගන්න බැරි වුණා. මං අවධි වුණා වගේ මට දැනුණා’.
මහත්මයා මං මගේ ඊළග දුවගේ මඟුල් ගෙදර චාරිත්‍ර වාරිත්‍ර හොඳට පවත්වලා, හොඳ තැනක ගන්නවා. මං මේ ගීතයෙන් අවධි වුණා කියලා මට හිතෙනවා. මේ මඟුල කියන එකම ගීත රචකයා උඹ විතරයි’.
ජෝති කීවේය.
කතාව එසේ නිමාවී සියලු දෙනාම විසිර ගියේ සතුටිනි.
මාස ගණනක් ගෙවී උදා වු අලුත් දිනයක අජන්තා තමාගේ නිවෙසේ නිදහසේ සිතිවිලි ගනිමින් උන්නේය. එකවරම පැමිණි බෙන්ස් රථය අජන්තාගේ් නිවෙසේ ගේ මිදුල ඉදිිරියේ නතර වූයේය. එහි අයිතිකරුවා තමාගේ අතිශය සමීපතම මිතුරා බව අජන්තා දැන උන්නේය.
ජෝති ප්‍රතාපවත් ගමනින් අජන්තාගේ නිවෙසට ගොඩ වැදුණේය.
‘මහත්මයා මං ආවේ මගුල් ගෙදර කියල යන්න. ඔබතුමාට ගෞරවයෙන් ආරාධනා කරන්න’.
‘මොන මගුල් ගෙදරද?’
‘මගේ දුවගේ මඟුල් ගෙදර. එදා මං කිව්වේ’. ජෝති අතීතය මතකයට නැගුවේය. මංගලෝත්සවය දිනයේ අජන්තා එම සුබ මොහොත වෙනුවෙන් හෝටලයට ගියේය.
‘දූ ඉඳීවි පෝරුවේ, පියෙක් බලා හිඳී . . .’
ගීතය ගැයෙමින් තිබිණි. ජෝතිගේ නෙතු අග සතුටු කඳුළින් පිරී තිබුණේය.

